සකිසඳ නුඹමය

සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
කෙනෙකුට සිතුසේ ලබනු බැරී
බිතු සිතුවම් රූ මිතුදම් වෙයමද
සසර පුරා බිඳ දමනු බැරී //

නුඹෙ රුව නිමිතෙක රසඳුන් වේමය
දුටු තැන ඇසිපිය හෙලනු බැරී
කුසුමකි නුඹෙ සිත සුවඳින් උතුරන
රහසේ සඟවා තබනු බැරී

සකිසඳ නුඹමය...

අමයුරු තෙපුලද සුමියුරු ගීයක
නොඅසා මොහොතක් හිඳිනු බැරී
නිර්දක කතරේ දිය දෝතයි නුඹ
කෙලෙසින් වත් මිල කරනු බැරී

සකිසඳ නුඹමය...

දේවතාවියේ වැටුණෙද

දේවතාවියේ වැටුණෙද කඳුළු නුඹ නෙතේ
රැඳුණ මගෙ සිතේ දැනුණිය රිදුම නුඹ සිතේ
කියනු බැරි නුඹේ විමනද දුරය මට දැනේ
දකිනු රුව කෙසේ සිහිනය දිගුය අද දිනේ //

මැකුණු සිතුවමක් ඇඳ තෙලි තුඩින් යළි යළිත්
නෙතට රිදුවමින් බැලු බැලු අතක දිස් වෙමින්
නැවුණු සුබ හැඟුම් ඉතිරුණු තුහින තුන් යමින්
වඩියි නුඹ සිතට හිනැහී දෙව්දුවක් ලෙසින් ... දෙව්දුවක් ලෙසින්

දේවතාවියේ වැටුණෙද...

සඳ කැලුම් පෙරී ඇවිදින් කවුළු මත රැඳී
අඳුර මැද සිතේ තෙරපෙයි මුනිවතෙහි රැඳී
දකිනු බැරි නෙතට සැඟවූ සිරි විමන් වැඩී
සැලුව කඳුළු මුතු පොළොවේ මගෙ අතේ රැඳී ... මගෙ අතේ රැඳී

දේවතාවියේ වැටුණෙද...

සුවදෙන නැලැවිලි

සුවදෙන නැලැවිලි ගී රස පිරි අමයුරු වී
අසා හිඳී නිසොල්මනේ මව් කුසයේ බිලිඳා //

මුනිඳු දෙවිඳු පිලිරූ ඇස රසඳුන් අයුරූ //
බලා හිඳී සෙවනැල්ලේ මව් කුසයේ බිලිඳා

දෙගුරුන් සිහි දේවී සාමය රැකදේවී
නිවී හිඳී සැනසිල්ලේ මව් කුසයේ බිලිඳා //

නෑසියො ගෙට ඒවී රස මසවුළු දේවී //
ඇසුරෙහිදී සිත ලොල්වේ මවු කුසයේ බිලිඳා

සුවදෙන නැලැවිලි...

සැම දන තුඩ

සැම දන තුඩ තුඩ රැව්දෙන
සාමය සමගිය රජ වුණ
නිදහස් මල් නෙලනා දින
කවදා ඒවිද සුමිතුර //

සාමයෙ ගීතය හඞින් ගයාගෙන
රජ වෙමු සාමය පිරි දේශය තුල ///

උනුන් ඇණකොටා වැනසෙන
විලාපයෙන් හද සිරවුණ
ලෝහිත ගංගා වැලපෙන
රටේ සිහිනයයි සාමය //

සාමයෙ ගීතය... ///

සිරිත විරිත එක ලෙසින් බෙදාගෙන
එක හිරු සඳු ගෙන් පිහිට පතාගෙන //

සාමයෙ ගීතය... ///

මේ අඩ සඳම

මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුලඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ //

මේ සෙනෙහෙ කන්ද නුඹේ හිතට බර වැඩි වුණු හින්දා //
මගෙ පැතුම් කන්ද නුඹෙ පාමුල විසිරුණිදෝ මන්දා
නෑසියන් බහට අවනත වී මා හැරගිය හින්දා
මගෙ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා

මේ අඩ සඳම ...

රියසක ලෙස පෙර පින පව අප පසුපස ආවේනම් //
මේ විරසකයක් වෙලා මොටද පෙර පෙම් කෙරුවානම්
රහසක් නෑ මින් මතුවත් වෙනසක් නෑ මා නම්
හසරක් නැති ආදරයක් යළි නොපතමි කිසිදා මං

මේ අඩ සඳම ... //

පවින් මා මුදා ගත්

පවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී
ලඳුනි කරුණා ගුණය ප්‍රේමය නොවන බව වැටහේ
පවින් මා මුදාගත් පින නුඹට අත්වේ

අසාර වූ මා ජීවිතේ දළු දමා නැගි ආදරේ
නියෙන් සිඳලන්නෙමි නොයෙන්නෙම යන්නෙමි
ඔබට සුබ පතමි

පවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී

නෙතක නිලුපුල් ආදරේ මල් පවන් වැද හිම වටේ
ඉකිබිඳින මහ වනස්පතිඳුන්
නිම නොවන ආදරෙන් ඔබට සුබ පතමී

පවින් මා මුදා ගත්...

එපා යළි හමුවන්න

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදා කල් රැඳෙනු ඇත
සංසාරයේ යළිදු නවාතැන් සොයායන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

එපා යළි හමුවන්න ...

වසන්තය ඇවිදින්

වසන්තය ඇවිදින් මටත් හොරැහින්
සිත් මල් පිපිලා හද විල් තෙමිලා
වසන්තය ඔබ ගෙනැවිත්

ගිලාන වූ හද සෝ ලතැවුල් පිස
ඔබේම ඇසුරින් සුවපත් වූදා
නොනිමි සෙනෙහසෙන් සිත උතුරා යයි
ජීවිතයේ නව පැතුම් සොයා

වසන්තය ඇවිදින් ...

අඳුරට හුරු මුදු මගේ දැවුණු සිත
ඔබේ වදනකිනි සැනසුම ලැබුවේ
වියැකී යන්නට ඉඩක් නොදී යලි
සුරකිමි ඔබ මා හද රඳවා

වසන්තය ඇවිදින් ...

වන මැද තනිවූ

වන මැද තනිවූ රජ දහනේ
පියබඳ සෙනෙහස සුව දැහැනේ
කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ
සැඟවුනි නිසලව ගිරි මුදුණේ

කෝ අද ඒ කිංකිණි රාවේ
නටබුන් නිසසල සීගිරියේ //

මැකී ගියා සැඟවී ගියා කාලයෙ වැලි තලයේ
කලා වැවේ දිය රැලි අතරින් දාසෙන් රජු යලි නැඟේ

දෑතම පාමින් වැව් දියඹේ
ඔහු සතු සම්පත පෙන්වන්නේ
ඔබ ලද ජය කොහිදෝ රජුනේ
වන මැද තනිවූ ගිරි මුදුනේ
ඔබ සැනසුම කොහිදෝ රැඳුනේ
ලඳුනගෙ මුදු බඳ සුව යහනේ //

සැලෙයි ගොයම් රන් කරල් බරින් අනුරාපුරවරයේ
කලා වැවේ දිය රැලි අතරින් දාසෙන් රජු ගුණ ගැයේ

වන මැද තනිවූ ...

සංගීතය: නිමල් මෙන්ඩිස්

සිදුවී නම් වරදක්

සිදුවී නම් වරදක් කොතැනක කොයි කවර කලෙක හෝ
එය නිවැරදි කර ගනිමු යාළුවේ //

පින් ඇති මහත්වරුන් ගෙනියන්ඩ කරපිටින්
අපි අපේ කමයි බිල්ලට දුන්නේ
අල්ලපු වැටේ එවුන් පිල් බෙදී වෛරයෙන්
මඟුලට මරණෙට වත් නැහැ එන්නේ

සිදුවී නම් වරදක්...

දෝලාව ගෙන කරෙන් අපි ගියෙමු දුර ගමන්
රජවරු දෙසටයි නෙත් යොමු වන්නේ
සතුරන්ට බැට දෙමින් යුද කලෙමු මියැදෙමින්
කවුරුද සතුටට ජයපැන් බොන්නේ

සිදුවී නම් වරදක්...

පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය: රෝහණ වීරසිංහ

සිහිනයක වෙලී

සිහිනයක වෙලී දොර කවුළු ලඟ රැඳී
ඔබ දුරක සිට හොරෙන් බලයි මදහසක් නොදී
එපමණද මට හිමී //

මද පවන හා ඇදී ඔබ සුවඳ මට දැනී //
සිත ඉකිගසා හඞා වැටෙයි තනිකමක් දැනී
එපමණද මට හිමී

සිහිනයක වෙලී...

මහ රැයක අවදිවී තනි යහන මත රැඳී //
ඔබ ගැනම සිත විඩා දෙවයි නෙතට නිදි නොදී
එපමණද මට හිමී

සිහිනයක වෙලී...

පද රචනය: සෝමරත්න දිසානායක
සංගීතය: රෝහණ වීරසිංහ

නෙළුම් නෙළුම්

නෙළුම් නෙළුම් නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම් නෙලූ නෙළුම් තියන්න ඉවුරේ
නොනෙළු නෙළුම් විලෙහි තබා පුදන්න සොඳුරේ

විලට දුකයි...විලට දුකයි විල් දිය බොර කරන්නට එපා
පඳුරු බිඳෙයි...පඳුරු බිඳෙයි දිය පිට පා තබන්නට එපා

නෙළුම් නෙළුම් ...

මලට රිදෙයි... මලට රිදෙයි නටුව ලඟින් කඩන්නට එපා
බඹරු අඞයි...බඹරු අඞයි විලෙන් නෙළුම හිඳින්නට එපා

නෙළුම් නෙළුම් ...

පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: රෝහණ වීරසිංහ

මා සිත තුල ගී ගයන

මා සිත තුල ගී ගයන වසන්තය නුඹයි
වසන්තයේ හිතේ ඇඳෙන සුවඳ මල නුඹයි

මගේ හිතේ සදා ඇඳෙන සොඳුරු වර්ණ දේදුන්නක
දේදුන්නේ පාට අයිති නුඹේ දෑසටයි

මා හදවත අවදි කරන මියුරු මියැසි රාවයයි
ඒ මියැසිය නංවන තත නුඹේ දෙතොලඟයි

දෙලුම් වීර

දෙලුම් වීර අඹ කෝන් හිඹුටු පලු එරඹ කැන්
අතු අගින් බරව ගොස් ඉදී තිබෙන හැටි බල නෙතින්
මෙවන් පලවැලෙන් බුදිනට රිසිවූ දේ කියන්
කඩිනමින් නෙලා දෙමි සෙනෙහේ අධික පියදරිනි දැන්

දෙලුම් වීර පලු කෑම ගතට සැප එලවනා
මට ගොසින් කඩා දෙනු මා පණ වැනි හිමි සසොබනා
අතින් කඩනු මිස ගහකට ගොඩ නොනගිනු මැනා
වන මරුන් එන්න පළමුව යමු සඳ පව්වට මනා

සමන් කලොල් හා සපුමල් අතු අග බර වෙමින්
හැර නුවන් යුගින් බල වන තුල සැම තැන පිපි කුසුම්
බැඳන් පැටවු බඩතුර පැන යන සැටි එ වඳුරන්
අර බලන් නටන සැටි රණ මොණරුන් රැල පිල් විදන්

සවන් යොමා අසනුය පිය හිමියෙනි සසොබනා
මගෙ මෙවන් වදන් සිහිගත මැනවිය සිතු පිරියෙනා
මෙවන් මෙරුක සෙවනැල්ලෙහි හිඳ මඳ කලකිනා
අපි ගිමන් හැරලා යමු සඳ ගිරි පව්වට සතොසිනා ///

සහ ගායනය: නන්දා මාලිනී

පින්නේ රැයේ

පින්නේ රැයේ කඩ අගුවක නිදනවද
ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද
කරවල වාඩියක සිරවී තැවෙනවද
මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද

අම්මා විඳ දරාගෙන හැම දුක් ගැහැට
නැති බැරි වුණත් දුක දුන්නේ නැහැ නුඹට
බැරි වුණු නිසා මට අකුරෙන් ජය ගන්ට
දහ දුක් ඉහිලුවේ නුඹ තැනකට ගන්ට

ඉස්කෝලේ නොයා කැලයට පැන්නාට
තරවටු කලේ ගුරු දෙගුරුන් නුඹෙ හොඳට
ගහ බැන්නේ හදාගන්නයි මං නුඹට
හිතුවේ අනේ ඇයි ඒ හැම වැරදියට

නුඹ නැති දා ඉඳන් අම්මා හැඞු කඳුලෙන්
ඔත්පල වුණා අප්පච්චී සංකාවෙන්
ගේ මළ ගෙයක් වාගෙයි අද නුඹ නැතියෙන්
හනිකට වරෙන් ඉගිලී ඉන්නා තැනෙකින් //

පද රචනය: කුලරත්න ආරියවංස
සංගීතය: රෝහණ වීරසිංහ

ඔටුනු පලන්දා

ඔටුනු පලන්දා සිහසුන ඉන්දා වැයුවාණේ නුඹ මඟුල් බෙරේ
තැලිපිලි අන්දා පෝරුවෙ ඉන්දා යුවළට ආසිරි මඟුල් බෙරේ

ඔල්වර හඞ මැද අඩව් කස්තිරම්
ලොවටම ඇසුණා මඟුල් බෙරේ
රජ මැති සිටුවරු වඩිනා මඟුලට
පෙරමඟ වඩිනා මඟුල් බෙරේ...මඟුල් බෙරේ

ඔටුනු පලන්දා...

ගෙයි පිළිකන්නේ බංකු පුටුව උඩ
වාඩිවෙලා ඇයි මඟුල් බෙරේ
මැද මිදුලේ අද රට මාලක්කම්
නුඹට සිනාදෝ මඟුල් බෙරේ...මඟුල් බෙරේ

දළින් අනින


දළින් අනින පයින් මඩින රුදුරු සැහැසිකම් කල ඇතු //
අන්න බලවු සැදැහැ සිතින් කරඞුව ගෙන යනවා
කරඞුව ගෙන යනවා //

දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු //
අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා
රජුට අසුන දෙනවා //

අඟිනවුලා මුල් උදුරා ගුරු තවරා ගත් ගව දෙන //
අන්න බලන් මවක වෙමින් කිරි දෙන්නට එනවා
කිරි දෙන්නට එනවා //

නින්දා රළු බස් පහරින සසල නොවී නිසසල වන //
අන්න බලන් දැමුණු දනා //
නෙත රසඳුන් වෙනවා ////

නිල් කටරොළු


නිල් කටරොළු මල් ගොමුවේ පැණි උරනා සමනලයෙක්
මිදුලේ දුව පැන නටනා පුතුගෙ අතේ ගල් අහුරක්
කුරුමානම වැරදුණාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ලමයෙක්

පුංචි කමට නොදැන කරන වැරදි වලට සමා නොවී
කෝටු පාර ඉඳහිටලා නුඹට තලද්දී
නෙත කඳුලින් නුඹ හඞද්දි හිත කඳුලින් මං හැඞුවෙමි

නිල් කටරොළු...

කිරි කල හත පෙවී නුඹට පා පොඩි එසවුණු දා සිට
සුරතල් සිහිනයකි මගේ ලය මුළුගැන්වී රැඳුණේ
නුඹ හොඳ මිනිහෙක් වනදා මල් පිපියන් මගෙ සිහිනේ

අහසයි ඔබ මට

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි //

ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
ලොව කැලඹුණු දා කඳු බිම් හැකිලෙනවා

අහසයි ඔබ මට...

අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවනු පවුරට මහ දුරකී

අහසයි ඔබ මට... //

අපි හැම රුසියෝ

ගමන දුර නිසයි සිව්පද කියන්නේ
වෙහෙස මඟ හැරෙයි ඇඟපත නිවන්නේ

නොකියන් කවිය ඔය ගොරහැඞි හඞින්නේ
මොකටද ගොනුන් කලබල කර හරින්නේ

කෙල්ලනි නුඹලා දන්නෙ නටන්නයි මා දන්නේ කීමට පමණයි //
කවදා මුත් මම ගායකයෙක් වී නුඹලා හැම පරදනවාමයි
නුඹලා හැම පරදනවාමයි

එහෙම වුණොත් නම් බොහොම අගෙයි මේ ගමන් වලට හරි ප්‍රයෝජනයි //
ඔය කටහඞ ඇසුණොත් කොටි වලසුන් පවා දුවාත් නොහිතම සත්තයි
පවා දුවාත් නොහිතම සත්තයි

ඕ හරි ගායකයා
කියපන් කියපන් උඹ හරි රුසියා
ඔ රුසියා උඹ හරි රුසියා //

ගේ දොර වතු පිටි අපටා නෑ කිසි ලෝකය අපගේ නිවසයි මේ
අපගේ ආහර නැටුම් ගැයුම් වෙති ප්‍රීතිය දෙන්ටයි අපි ඉන්නේ
හිතන්ට කිසිවක් අපටා නෑ ලොව නැතිකරගන්ටත් කිසිත් නැතී
අපි දෙන ප්‍රීතිය දහස් ගණන් හට කිසිදා කිසිවිට නැති නොමවේ
කිසිදා කිසිවිට නැති නොම වේ

දුෂ්කර ලෝකේ කම්කරුවෝ අපි අප සතු වස්තුව සමගිය වේ //
එය සොරකම් කර ගන්ට අපෙන් හෙම නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ
නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ

ඕ අපි ගායකයෝ
කියමු කියමු අපි හැම රුසියෝ
ඔ රුසියෝ අපි හැම රුසියෝ ////

මිහිදුම් සළු තිර

මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට //

වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවනැල්ලට මල් අතුරන්නම්

මිහිදුම් සළු තිර...

ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
පාරාදීසය මෙහි පිරී ඇත
මානවිකාවෙනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරනු මැන

මිහිදුම් සළු තිර... // ගී පද: බණ්ඩාර කේ. විජයතුංග

වාදකයාණෙනි

වාදකයාණෙනි ඔබේ සිතාරය //
තත්සර නංවන සුමිහිරි රාවය
සුමිහිරි රාවය

කෙතක ගොයම් නෙළනා ලඳුන්ගේ
දෙතොලේ ගීයට මුසු කල මැනැවී
මුසු කල මැනැවී

අඞ අඳුරේ මන්මත් කළ රාවය
තොලගාමින් මෝහයේ සුරා විත
ආලිංගන නැටුමකට සාදයට
කුමට වයන්නෙද එවන් සිතාරය

වාදකයාණෙනි...

නව ලොව එළි කල අරුණාලෝකය
රන්කෙත කරනා සඳ ආලෝකය
සව්සිරි අස්වනු නෙලනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය

වාදකයාණෙනි...

සඳ කාන්ති

සඳ කාන්ති දෙන රාත්‍රියේ

සඳ කාන්ති දෙන රාත්‍රියේ
මේ රංග මණ්ඩපයේ
නාට්‍යාංගනාවී දන මන උන්මාදවී

දිගු නීල නයන හෙළා
මිණි මෙවුල නිතඹ සලා
මිණි සළඹ පාද තබා රඟන්නී
දන මන උන්මාදවී

සඳ කාන්ති...

මදහසිනි මුව සරසා
මත් කොවුල් හඞ පරදා
සත්සරින රස අමුණා ගයන්නී
දන මන උන්මාදවී

සඳ කාන්ති...

අද ඉපැදුණු

අද ඉපැදුණු නැවුම් ලොවට සිවු දෙවියනි වරම් දෙන්න
පතිනි මවුනි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න //

උපන් බිළිඳු නහවන්නට රුවන් පිරිස පැන් වඩතී
සිරිමාබෝ පත් සෙලැවී මෙත් සිහිලෙන් සුවය දෙතී
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී
සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී

අද ඉපැදුණු...

සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී
සිරි දළදා හිමි සරණින් පිහිට ලබා නිදුක් වෙතී
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී
බාල බිලිඳු පිලිගන්නට සමන් දෙවිඳු දෝත දෙතී
සමන් දෙවිඳු දෝත දෙතී

අද ඉපැදුණු... //

උඩ මලුවේ

උඩ මලුවේ මගෙ ස්වාමිනේ අවසර කරුණා කරන්ඩ
හතර පේරුවේ අපටම මේ දොරඟුළු ඇයි කියන්ඩ //

හේන් කුඹුරු පාළු වුණා වැහි කඳුලක් නෑ දකින්ඩ
දරු පැටවුන් ගොදුරු වුණා මැලේරියා මදුරුවන්ට
එහෙව් දුකින් සරි කරගත් //
කිරි ආහර ටික පුදන්ඩ
උඩ මලුවේ මගෙ සාමිනි
රන් වැට දොරඟුළු අරින්ඩ

ඉරි තැලිච්ච වැව උතුරා සුදු නෙළුමක් මෝදු වෙන්ඩ
හැමදාමත් ගිනි උහුලන අපට පිරිත් පැන් ඉහින්ඩ
වැලි මලුවේ පෙරලි පෙරලි //
ඔය හෙවනේ නිවන් යන්ඩ
උඩ මලුවේ මගෙ සාමිනි
රන් වැට දොරඟුළු අරින්ඩ

උඩ මලුවේ...

රජ පෙරහැර

රජ පෙරහැර මැද ඇතා නටනවා
දා කරඞුව ඇලවෙනවා
දෙදහස් වසරක් රැකගත් කරඞුව
දෙවියනි හද කකියනවා

අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ

විලංගුලා ලා ඇතු බැඳ දමලා
සැනසුම් සුසුම් හෙලන්නේ
කොඩි කුඩ සේසත් පාවඩ තිබුණත්
කොහොමද රජ පෙරහැර යන්නේ

රජ පෙරහැර...

අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ

උත්තම කරඞුව දෝත දරාගෙන
පාර කොනේ අපි ඉන්නේ
අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු
කවදද දෙදණ නමන්නේ

රජ පෙරහැර...

පැන්සොන් දිනය

පැන්සොන් දිනය වැටෙනවා මාසේ අගට
විය පැහැදම් වැඩියි පැන්සොමෙ දෙගුණෙකට
අඟ හිඟකම් වලින් හිත තැලුණත් බරට
මා අද බරක් වී නැත මගෙ දූ දරුවන්ට

තිස්පස් වසක සේවය අවසන් වන දවස
මා සේවය කලේ පඩියට නොව දැයට
කාසිය වලංගුද නැත අගයක් නැතුව
දෑත සවිබලයි හිත හයියයි තවම

පාළුව තනිකමෙන් දුක දැනෙනෙවා දිවියේ
වතුපිටි ඉඩකඩම් නැත මා සන්තකයේ
දරුවන් අසයි මොනවද උන්ටත් කෙරුවේ
මං හෙළු දහදියයි උන් මිනිසුන් කෙරුවේ

පැන්සොන් දිනය ...

මුවින් මුවග

මුවින් මුවග ගී සර ප්‍රතිරාව නැගේවා
සිතෙන් සිතක ගී රස ගංගා ඉතිරේවා
නෙතින් නෙතක ගී ලියැවේවා
ගී හඞින් මිනිස් ලොව සුවඳ ගෙනේවා //

බිඳුණු පැතුම් සොයා තැවෙනා
දෙසිතක දුක් ගීය නිවාවා
උරග වෙසින කිපී නැගෙන හැඟුම් නිවා
ගී රැව් දේවා
රස මියුරු සරින් ලොව සැරසේවා //

බෙදෙන බිඳෙන ලොවේ විපත
ගී සිය දහසෙක ලියැවේවා
විහඟ සරින් ලොවට ඇසෙන
ගීයෙන් මහ පොළොව නිවේවා
ගී ස්වරය අරුණ කිරණ සදාවා //

මුවින් මුවග...

මල් පිපිලා එදා වගෙම

මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ
බමරු ඇදෙනවා සුවඳට සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ

එදා අපට පෙම්වත් සඳ අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇල දොල පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගිය මග මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි

මල් පිපිලා එදා වගෙම...

කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරු මල්වල රේණු ගණින්ටයි
එදා අපෙ හීන මාලිඟ මෙදා උන් තනා ගත් සඳ
කඩා නොලන්ටයි

මල් පිපිලා එදා වගෙම...

ලොව සරසන

ලොව සරසන දළු කොළ මල්
අපට අයිති නෑ //
ගලා බසින ගංගාවල්
අපට අයිති නෑ //
සිහිල් සුළං නිල් කඳු වැටි
අපට අයිති නෑ //
ඒ නිසාම අපට ඒව වනසන්නට බෑ
වනසන්නට බෑ

උඩින් උඩින් එන හිරු දෙවියෝ
ගහකොළ මල් පුබුදන දෙවියෝ
ඒ උරුමය රකිනා දෙවියෝ
මහ පොළවයි අපගේ දෙවියෝ

ගහක තියෙන මල් කොළ ගෙඩි
අයිති ගහටමයි //
ගලා බසින ගඟේ වතුර
අයිති ගඟටමයි //
සිහිල් සුළං රැලි කාටත්
හුස්ම පොදමමයි //
හානි නොකර එයින් පලක් ගත්තොත් හොඳමයි
ගත්තොත් හොඳමයි

මේ සම්පත් අපි කාටත් ලැබුණේ
වාසනාවටයි //
මුතුන් මිත්තො ජීවිතේ වගේ
බලා ගත් නිසයි //
ඒ සම්පත්වල අයිතිය ඇත්තේ
අනාගතයටයි //
අනාගතේ ලොව බාරගන්න මතු පරපුරටයි
මතු පරපුරටයි

ලොව සරසන...

කුඹුක් ගහේ

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේ
තිඹිරි ඉදී රතු පාටින් පල බර වී නැමේ
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ //

වක්කලමේ තොටමුණ ලඟ දිය රල සැඩ නැතේ
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැවේ
ලැජ්ජාවෙන් මුව රතුවී නෙත් ඔබාන බිමේ
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ //

කුඹුක් ගහේ...

උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ
මට විතරක් ඇහුණම ඇයි හොඳ නැතිවද නගේ
හිතකට මං මේ තරම්ම එබිකම් කර නැතේ
ඉලුක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ //

කුඹුක් ගහේ...

ජීවිතය නම් කිමැයි

ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
දිවිය කැපකල උතුම් මිනිසුනි
මිනිස්කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි

ඉසුරු සුව රස පහස හැරදා
කටුක දුක රුපු ගැහැට වළඳා
සියල් සත වෙත වතල කුළුණින්
ලොව පහන් පියසක් කරන්නට
ජීවිතය පුද දුන් ඒ උතුම් මිනිසුන්

පෙළෙන සිත් තුල නැගෙන සුසුමන්
දැවෙන නෙත් අග කෙවෙන කඳුලැල්
දැනී කම්පිත සිතින් නැගෙමින්
මිනිස් මහිමය හෙලි කරන්නට
ඥාණනය ලැබ දුන් ඒ උතුම් මිනිසුන්

ජීවිතය නම් කිමැයි...

ඉස්සර නං මේ

ඉස්සර නං මේ නාදෙ ඇහෙන කොට
ඔල්වරසන් හඞ දුන්නේ
මහත්වරුනි ඒ සර්පිනාවමයි
ඇයි දැන් අහක බලන්නේ //

වේදිකාව උඩ තබ්ලා මැන්ඩලින්
මැද්දේ රජවී උන් සැටියා //
රූකඩ මඩුවේ නාඩගමේ
මගෙ සර්පිනාව මුලටම සිටියා

ඉස්සර නං මේ...

දන මන පිනවූ රාග තාල මයි
තවමත් ගුවනේ රැව් දෙන්නේ //
ඒත් අනේ මේ සර්පිනාව ගැන
තවමත් නැහැ හරිහැටි දන්නේ

ඉස්සර නං මේ...

හිත මහ පුදුම තැනක්

හිත මහ පුදුම තැනක්
දිදුලන මහරු මිණක්
හසරැල් වතල වතක්
විටෙකදි නොනිම් දුකක්
හිත මහ පුදුම තැනක්
හිත මහ පුදුම තැනක්

නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
ඉක්මන රිසි වූවිට හිත නැවතුණ තැන ඉන්නවා
ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

හිත මහ පුදුම තැනක්...

අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

හිත මහ පුදුම තැනක්...

හත් මුහුදින් එපිට

හත් මුහුදින් එපිට ගුගුරුවා
බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ

ඇත්දත් ගම්මිරිස් කුරුඳු මැණික් අරන් එතෙර යන්ඩ
ලක් මවුනගෙ දරු පැටවුන් වහල් කමේ තියා ගන්ඩ
වැව් බිඳ රන් කොත බිම ලා //
දාගැබ පිට කොඩි දමන්න
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ

යෝධ කඳු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්ඩ
කෝපි තේ රබර් වවලා එතෙර එදේසෙට යවන්ඩ
ඉර නොබහින පොළොව වටේ //
කතිර කොඩිය ලෙල දෙවන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ

සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්ඩ
උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්ඩ
අනේ අපොයි අපිත් ගියා //
පය පාමුළ වාල් වෙන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ

හත් මුහුදින් එපිට ගුගුරුවා
බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුනි පේනවාද අදත් එනව රට කරන්ඩ
අදත් එනව රට කරන්ඩ

බෝසත් කුල ඇතාණෝ

බෝසත් කුල ඇතාණෝ
සිවුපා මහ සතාණෝ //
වනන්තරේ නෙතාණෝ
පාරිලෙය්‍ය ඇතාණෝ
ඇතාණෝ ඇතාණෝ

වැඩම කලත් දළදා හිමි සඳාණෝ
දෙදළ කපා බිම හෙලනා ඇතාණෝ
ඇවිදින කල අහිමිව වන පෙතානෝ
වෙඩි පිට වෙඩි කා මියැදෙන ඇතාණෝ

බෝසත් කුල ඇතාණෝ...

සක්වල ගල සොඳුරුමැ ඇත් රජාණෝ
ගැමුණු රජුට ජය දුන් හිතවතානෝ
පනාමුරේ පරපුරැ සිරිමතාණෝ
අභය බිමෙත් හබයක් නැති රජාණෝ

බෝසත් කුල ඇතාණෝ...

සුපිපුණ සුගන්ධ

සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා //
සිඹිමින් නෙළමින් //
නෙළමින් මම යමි යමි උද්‍යානයේ //
උදයේ රම්‍යා නෙළමින්නේ
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා //

බිඟු රාසී හැම කාලේ ඇත කෝපේ කුමරී හා
මල් නෙළා ලෙමී මං ගොතන්ට මාලා රජ දුවනී යන්ටා //
මෙවාරේ නෙළන්ට කුසුමන් යාමී //
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා //

නෙතේ කඳුළු

නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්

තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින් //

නෙතේ කඳුළු...

සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින් //

නෙතේ කඳුළු...


පද රචනය: ආනන්ද අමරසිරි
සංගීතය: රෝහණ වීරසිංහ

මයුරාසන හිඳ

මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජනේ
මනු ලෝ සත වෙත පෑව නෙතින
සුරකිනු අප ස්වාමිනේ
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජනේ

සාමයේ චේතනා රැඳුණු සිතැඟි නෑ මෙදා
දේවනේ

මයුරාසන හිඳ...

මෝහයේ ද්වේශයේ ගිලෙන ලොවට පා තබා
දේවනේ

මයුරාසන හිඳ...

මලේ රුවට

මලේ රුවට තරුණ බමරු ඇදෙන්නේ
මලේ මුකුළු බඹර නුවන් නෙලන්නේ
පැතුම් සිනාසේ නැහැ සිතුම් මුලාවේ
සිනාවී ආවා මුලාවී ආවා
මලේ රුවට තරුණ බමරු ඇඳෙන්නේ

සිත ඒ රුවේ වෙළිලා තියේ
එය ආදරේ හඳුනා නොවේ
සිනාවී ආවා මුලාවී ආවා

මලේ රුවට...

මදිරා මලේ උතුරා හැලේ
සැමදා ලොවේ නැහැ ඒ රසේ
සිනාවී ආවා මුලාවී ආවා

මලේ රුවට...

මගේම නෙතු යුග

මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග
තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ //

යන එන මාවත
ගැවසෙන රූ මැද
ඇයගේ රුවම මවා
මා රවටා හිනැහෙන්නට තරමට
නෙත් යුග කුරිරු වෙලා

මගේම නෙතු යුග...

නිසසල හැම විට
සිහිනෙක විලසට
ඇයගේ හඩම නඟා
මා රවටා සැනසෙන්නට තරමට
දෙසවන් නපුරු වෙලා

මගේම නෙතු යුග... //

මගේ සෙනෙහස

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට //

වසර ගණනක යොදුන් ගණනක
ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

ලප නැති සඳක්

ලප නැති සඳක් ඇති නිලඹරක්
කිකලෙක නමුත්
දුටුවෙද ඔබත් //
සඳ රැසින් පිපි මලක් වනු මිස
නොපතන්න ඒ සා
පුරහඳක් //

ඇද නැති ගඟක් නිල් දියවරක්
ගැලුවාද දී නෙත රසඳුනක්
ගිලී දිය සනහා නිවෙනු මිස
නොසොයන්න ඒ සා
ගඟ දියක් //

මඩ නැති විලක් මත සියපතක්
පිපුණාද කවදා කොතැනකවත්
රැඳි සුවඳ මුව ලද විඳිනු මිස
නොසොයන්න ඒ සා
සියපතක් //

ලප නැති සඳක්...

හංස රාජිනී

හංස රාජිනී සේ
මන මෝහනීය රංගනීයේ

සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාල හඞා නද දීලා
රඟනා තාලේ

හංස රාජිනී...

එක යායේ

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

එක යායේ...

වලට වැටුණු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී

එක යායේ...

ගායනය: එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, බන්දුල විජේවීර

වනේ වන සතුන්ටත්

වනේ වන සතුන්ටත් වැඩි රුදු තුඩිනී
ඇනී මිනිස් දළ තැවෙනා සඳ සොවිනී
අමාවකට පෑයූ පුන් සඳ ලෙසිනී
ඔබේ දැකුම අප පින් කල පෙර නිමිතී

මිතුරු තෙමේ කුමටද සැපයෙහි පැවතී
මිතුරු සෙනේ කුමටද විපතෙහි නොමැතී
මිතුර ඔබය දුක සැප දෙකෙහිම පැවතී
ඔබේ ඇසුර අප පින් කල පෙර නිමිතී

වනේ වන සතුන්ටත්...

දිවි කතරේ දැවුණා තුන් යාමයක
පිය මිතුරේ ඔබදෝ දිය සීනයෙක
මතු සසරේ යමු උපදින කාලයක
ඔබ ඇසුරේ උපදිමි හැම වාරයක

වනේ වන සතුන්ටත්...

වලාකුලක් ගෙන

වලාකුලක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ
රත් වුණු වැලිකැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ //

වතුර මලෙන් නා දොළ අමතක කර
දූලි සුළං විඳ වෙල අමතක කර
විදුලි පහන් මැද සඳ අමතක කර
දෙපා අභියසට ගමු අපි සුරපුර

වලාකුලක් ගෙන...

නගර දනව් මැද සුවිසල් මන්දිර
අතැර උපන් රට නොරටුන් ලංකර
පඳුරු පතොක් කටු අතගා උල්කර
විනෝද වෙමු අපි ලේ මස් දිය කර

වලාකුලක් ගෙන... //

වනේ වනපල

වනේ වනපල මියුරු වූදා
නැතේ ලඟ සියොතුන්
මලේ මල් රොන් පුසුඹ වූදා
කොහේදෝ බමරුන්....බමරුන්

වෙලී නැති බැරි දුකින් කාලය
හැලී දෝතින් නැවුම් ප්‍රේමය
අහී දුප්පත්කමින් ජය ගනු
රිසින් පියමං වූ යුගේ
හිතත් හිරිමල් ඇයත් මනකල්
කල් බලා සිටියා...බලා සිටියා

නැගී අළු යට ගිනි ඉරක් මෙන්
දිනූ දා කිත් යසස් අභිමන්
එදා ගොළු උනු පෙමක් කුළුඳුල්
දනව් ගම් හැරදා ගිහින්
බිඟුත් තනියෙන් මලත් නටුවෙන්
තටු විදා ඉගිලී ගියා ඉගිලී

වනේ වනපල...

තුරුලක හුරතල්

තුරුලක හුරතල් ඉන්නේ කරදර පියමං වෙන්නේ
මොහොතක සුවය එවෙයි ගත සිත සතුට හොයයි
අද මෙතැනයි හෙට කොතැනද අපි ඉන්නේ

අද තනිකඩ යහනේ රැය එළිවෙන්නේ
හෙට සියුමැලි දෑතකි උණුසුම දෙන්නේ
හිත ඇහැරෙයි ඇහැ පියවෙයි ලොව හැංගෙයි

තුරුලක හුරතල්...

බර බිම තියමින්නේ හුස්මක් ගන්නේ
තොල අග මී වඩියේ හිත නිදිගන්නේ
එක හීනේ රැය එළිවෙයි ලොව ලංවෙයි

තුරුලක හුරතල්...

තාරකා මල්

තාරකා මල් පිපී හිනැහෙන ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට නිවා ලතැවුල් ජීවිතේ //

හිරු සඳුට හා ලොවට රහසින් සදා ගමු අපෙ පුංචි ලෝකය //
දුකට කඳුලට පවුරු බඳිමින් පෙමින් සරසමු එවන් ලෝකය

තාරකා මල්...

ඔබේ දෙනයන කැලුම් ඇත මට එළිය වන්නට මගේ ලෝකය //
ඔබේ සිහිලැල් සුවැති සෙවණින් නිවී සැනහී මගේ ජීවය

තාරකා මල්... //

තනි කලේ

තනි කලේ කෙලෙසද මා ඔබෙන් වෙන් කලේ
සැඟවුනේ කොතැනද ඒ නුවන් සැඟවුනේ

මසිත හොවා රුදුරු පාළුවේ
දුරක මැකී ගියද ඔබ මෙසේ
සිතින් ඔබේ ලඟයි මා සදා ජීවිතේ

තනි කලේ...

සියාතුවේ

සියාතුවේ මා මිතුරේ //
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //
සියාතුවේ මා මිතුරේ

සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්
ලැබුවා බැත පෙර කන්නේ බුසල් බරින්
වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්
දැවුණා සිත දැවුණා කෙත කර සුළඟින්

සියාතුවේ...

හඞලා කුමටද මිතුරේ සියාතුවේ
හැමදා මුව රැල වාගේ සිටිනු නොහේ
ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
ගලනා දිය අපි හැමටයි සියාතුවේ

සියාතුවේ...

රන් දෙවොලින්

රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ //

හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර කඳ නොදැනේ
සොම්නස් සයුරේ පාවෙන්නේ

රන් දෙවොලින්...

ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
සුළං බදා එකටම යන්නේ
රැල්ල මතින් පෙණ තිල්ල නඟා
සැනසිල්ලේ යමු රන් දෙවොලේ

රන් දෙවොලින්...

සිත් තුල දෙවියන් රජයන යාමේ
මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
මාළුවනේ අපි යාලුවොනේ අද
පෙම් කෙලිමින් යමු දිය වතුරේ

රන් දෙවොලින්... //

රා රා රා බොම්බියේ

රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ //
ජපං මැන්ඩලින් නද කර //
අවුරුදු එයි හන්දියේ

උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ
මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ

රා රා රා බොම්බියේ...

ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ
කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ
කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා
දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ

රා රා රා බොම්බියේ...

පින්තාලිය

පින්තාලිය හැදුවේ අපෙ බෝසත් විදානේ
පැන් බිව්වේ මගී දන සිතු ලෙසානේ
දෙව්ලොව වැඩිය පසු ඒ ගුණ කඳාණෝ
පින්තාලිය බින්ඳෙ දෙව්දත් පුතාණෝ //

පිනට ලැබුණි පැන් හැමතැන ඒ කාලේ
දනට පිනට බණටත් තිබුණයි යාලේ
මිලට පැන් ගන්ට වී ඇති මේ කාලේ
අපේ පවට මොනවා කරමුද රාළේ

පින්තාලිය...

නපුරු කලට එන දුක් නිම නැතේයා
සතුරු විපත් හැම පැත්තෙන් එතේයා
හොඳ මිනිසුන් සුර ලෝකෙට යතේයා
දෙව්දත් පුතුන්ගෙන් දුක් පැමිනෙතේයා

පින්තාලිය...

පීදිලා පැතුම්

පීදිලා පැතුම් පෑදිලා රුවන්
ආසිරී ගායනා මේ ඔබේ නමින් //

චේතනා පෑහිලා දෑස සේ රැඳී
ජීවිතේ වාසනා ලොවේ සදා බැඳී

පීදිලා පැතුම්...

ස්නේහයේ දාමයේ දෑත යාවෙලා
සාමයේ මාවතේ ඈත පාවෙලා

පීදිලා පැතුම්... //

නාලිනී එන්න

නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුලක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

දුක් දොම්නසින් ගහණ හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ නුඹට සිහිලක් නොවේ
නිල් වන රොදේ නිලන මල් මදහසින් දුලන
මල් වල පැණි උරණ යෞවන වියේ

නාලිනී එන්න...

නුඹ දිරි දැරී බැවෙන සිත සියුමැලී නොවන
දුටු දැයි අනේ කවර මිහිරක් ලොවේ
පිය රැව් සලා සකුණ සිය ගවු ගණන් විසුළ
විජිතය පෙමින් වතල සෞමිය මගේ

නාලිනී එන්න...

නොමවේ පැරණී

නොමවේ පැරණී යළි වේ රමණී
දරු පෙම නොනිමි අඹු සැමි පෙමිනී
නොව පැරණිය වන රමණිය විටින් විට
වෙයි රමණිය නොව පැරණිය විටින් විට

සොඳ සොඳ ඕලු සොරබොර වැවේ ඇතී
ඒව නෙලන්නට සොඳ සොඳ ළමෝ යති
කළු කරලා රස කරලා උයා ඇතී
ඕලු බතට අද අපෙ පොඩි එවුන් නැතී

නොමවේ පැරණී යළි වේ රමණී
දරු පෙම නොනිමේ අඹු සැමි පෙමිනී

ළමුන් රජුන් වී උන්ගෙත් වටේ පැටවු
ගොහින් ඉතින් දුර දීපංකරේ වසවු
ලඟින් ඉඳන් මට සලකයි මගේ බිසවු
පැරණි නොවේ සොඳ අඹු සැමි පෙමේ ඉසව්

නොමවේ පැරණී...

මලින් මලට

මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ //

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඩන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ

මලින් මලට... //

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ
නැතිබැරි කමයි උඩු හුලඟේ ලණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ

මලින් මලට... ////

සුනාමි ගීතය

අපෙ බත් පිඟාන මූද ඇවිත් අරන් ගිහින්
අපි ඇන්ඳ ඇඳුම් මූද ඇවිත් අරන් ගිහින්
අපේ පාඩම් පොත් මූද ඇවිත් අරන් ගිහින්
නිදාගත් පැදුරත් මූද ඇවිත් අරන් ගිහින්

අපට ඔබේ දෑත දෙන්න
වැටුණු තැනින් නැගිට එන්න //

අප හැම දෙනාම වැටුණු වලෙන් ගොඩට ගන්න
ජන නායකයිනි එක තැනකට එකතු වන්න //
තරහ මරහ ටිකකට අමතක කරන්න
කුලල් කකා බෑ මේ රට ගොඩ නගන්න

දවස පුරා වෙරළ දිගේ බෝල ගහපු
රැල්ල පාග පාග සිප්පි කටු ඇහිඳපු
යහළු යෙහෙළියන් සේරම අපට හිටපු
අරන් ගිහින් මුහුදු වතුර ගොඩට ගලපු

ඉතුරු වෙලා ඉන්න අපට
ඕනෑමයි ඔබේ පිහිට //

බිඳ වැටුණු රටට හදවතින්ම පිහිට වන්න
මහ ජනතාවනි එකා වගේ එකට ඉන්න //
එපා ජාති ආගම් කුලමල තකන්න
හිතමු අළුත් ශ්‍රී ලංකාවක් හදන්න

දෙදහස් පන්සිය වසරක් නම තියාපු
පෙරදිග මුතු ඇටය කියා ගුණ වණාපු
මේ රට පෙර රණවිරුවන් ගොඩ නගාපු
බිඳින්න බෑ මහ මුහුදට ගොඩ ගලාපු

අත දුන්නොත් නැගිට ගන්න
අපිත් එනවා රට හදන්න //

සීතල දිය පිරි

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි
සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි

අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඞ නෙත ඈත ක්ෂිතිජයෙන්
උදා වෙලා මට අත වැනුවා

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි

දෑසට නොපෙනෙන ගණ නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි

ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වටකර හැමතැන පිපුණා

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි

සීහලේ පිනෙන්

සීහලේ පිනෙන් උපන් අපේ සීහලූන්
සීහලේ රකින්න පෑ නිසා ගතත් සිතත්
සීහ වෙස් දැරූ සිඟාලයන් නොවූ පිනෙන්
සිවු හෙලේ එදා නොවී අනුන්ට පෑ අතක් //

උන් පැතුම් නොවී එදා අනුන් පිදූ බතක්
උන් ගතේ නොවී එදා අනුන් සැදූ වතක්
දැන් දණින් වැටී විදේශ වන්දනා කළත්
ආදි සීහලේට වැන්දෙ ඒ විදේශයොත්

සීහලේ පිනෙන්...

උන් ලැබූ නමුත් එදා තම්බපණ්නියක්
නන් විකුම් බෙලෙන් සැදූහ ස්වර්ණ භූමියක්
දැන් අපිත් රකිම්හ මේ අපේ කියා යමක්
ඒ අපේ හිසත් කඳත් මිසක් වෙනින් කුමක්

සීහලේ පිනෙන්... //

සත්‍යයේ මළගම

නොතැවෙන්න නොහඞන්න සත්‍යයේ මළගමට
ගහලයා ඔබයි මේ මරණයේ
හිස ගැසූයේ ඔබයි විෂ පෙවූයේ ඔබයි
හඞා වැලපෙන්නේද අද ඔබයි

කල්වාරි ගිරි සිරස මිය ගියේ සත්‍යයයි
පෙළූයේ සත්‍යයයේ හදවතයි
ගැලූයේ සත්‍යයේ රුධිරයයි
ගයා පියසින් පිටව වන වැදී සැඟවුණේ
එදා පිළිකෙව් කෙරූ සත්‍යයයි

නොතැවෙන්න නොහඞන්න...

මිනිස්කම හදවතේ මලක් සේ පිපෙන දා
සත්‍යයේ හිස නැගෙයි කුරුසියෙන්
සත්‍යයේ හිරු නැගෙයි වන ගැබින්
මිනිස් පා වැඳපුදා පින් ලබාගනු රිසිව
දෙවියෝද බිමට එති පෙරහැරින්

නොතැවෙන්න නොහඞන්න...

සන්තාප මාවතේ

සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන් //

තරුවක් ලෙසින් වැලපී හඞා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංතලේ
නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ
හඞගා කියයි නටඹුන් අතීතයේ

සන්තාප මාවතේ...

හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
සඳ තාරකා අදුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ

සන්තාප මාවතේ... //

සඳ මල පිබිදුණු

සඳ මල පිබිදුණු නිල් කඳුරැල්ලක
රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක දුක් කදුරැල්ලක
තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක

හඞා වැටෙන විට නෙතු යුග තෙත්වී
සිනා පොදක් වෙන්නම්
සිනා නඟන විට පැතුමන් දැල්වී
කඳුලින් සුරකින්නම්

සඳ මල පිබිදුණු...

වියෝ දුකට සුසුමට මග අවුරා
හදේ ලැගුම් ගන්නම්
රැඳී නිබඳ පණ නල මෙන් දැවටී
දිවි ඇති තුරු ඉන්නම්

සඳ මල පිබිදුණු...


ගායනය: සුනිල් එදිරිසිංහ සමඟ නන්දා මාලිනී

රෝස කුසුමක්

රෝස කුසුමක් පිපී නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

මා අවදි කර යහනින් ඔබ එබී හිනැහී කවුළුවෙන් //
කියා රහසක් සැලෙන දෙතොලින් නොනැඟෙනා වදනින්
නොහැ‍ඟෙනා අරුතින්

රෝස කුසුමක්...

ඔබේ සුවඳ ලද මොහොතින් සිත වෙලා සිටි ඒ ආදරෙන් //
මගේ තනිකම හඬයි ඉකිබිඳ දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින්

රෝස කුසුමක්...

ලෝකයක් නසන්නට

ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණු ලොව අභිමුවේ
විජය නොඩි නගන්නේ කවුරුන් ද

එකම ඉර එකම සඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිලකට
උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට

ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද

වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට

ලෝකයක් නසන්නට...

සොයා පිළිසරණක්

සොයා පිළිසරණක් ලොවෙන්
මා නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ //
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිහිලක්

සොයා පිළිසරණක්...

මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ //
පහන් වැට සේ සොයා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ නෙතු කැල්මක්

සොයා පිළිසරණක්...

සියල්ල ඉදිරී

සියල්ල ඉදිරී ග‍රා වැටුනු දා
ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
දැන හදුනාගත් තනිකම නුඹටත්
මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත්

ප්‍රේම තාපයෙන් පර මල් යහනට
තවත් ලඳක‍් ‍එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
මා නුඹ එලවන්නෙද කෙළෙසේ

සියල්ල ඉදිරී...

ඇ‍ය ‍හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ලඳක් නිසා
හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නො‍යා

හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නො‍යා...

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //

දුවේ නුඹ මගෙ...

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //

දුවේ නුඹ මගෙ...

සෙනෙහස ලැබ

සෙනෙහස ලැබ පිබිදෙන විට
තහනම් නැති ආදරේ
මදහස සඳපානක් වී
උතුරා යයි ජීවිතේ //

සුවඳ සඳුන් සුවඳ පෙරා
කඳුළු උයන් මල් අතුරා //
වෙණ මිණි තත් වැයෙන රැයේ
උතුරා යයි ජීවිතේ...ආදරේ

සෙනෙහස ලැබ...

නඳුන් වනේ සිරි පතුරා
පැතුම් විලේ දිය උතුරා //
සඳ මිණි රැස් වැටෙන පැයේ
උතුරා යයි ජීවිතේ...ආදරේ

සෙනෙහස ලැබ... //

සිනහ වෙනු මැන

සිනහ වෙනු මැන
වේදනා පිසදා //

වෙරළ රළ හා තරහ වී නැත
මියුරුසර වෙණ හා බිඳී නැත //
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

සිනහ වෙනු මැන...

කඳුල දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම් //
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

සිනහ වෙනු මැන... //

සුපහස් අසුනක

සුපහස් අසුනක සිටියද අද මා
සිහිලස විඳිමින් විදුලිය පංකාවේ
සිහියට එනවා පාඩම් කල හැටි
අබලන් පුටුවක ඉඳගෙන රෑ යාමේ

කහට කෝප්පෙන් කුස පුරවාගෙන
සරඹ කරද්දී දවසක් දා
ඇදගෙන වැටුනම නැගුණු සිනා හඞ
දුගී බවට කෙරුවද නින්දා

සුපහස් අසුනක...

ඉරුණු කලිසමේ අණ්ඩ දමාගෙන
මං පාසැල් ගිය පෙර දවසේ
සරදම් විලසින් හිනැහුණු මිතුරන්
කිම මා අභියස අද දවසේ

පිහිටක් ලැබගනු පිණිස පතාගෙන
මගේ කුටිය වෙත අද දින ආ මිතුරේ
දුටුවෙද සරදම් සිනා පොදක් හෝ
රැඳී තිබෙනු මගෙ තොල් අතරේ සැඟවී

තිරය ඇරෙනවා

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා //

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

තිරය ඇරෙනවා...

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී

තිරය ඇරෙනවා...

වියෝවූ පසුවයි

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් //

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

වියෝවූ පසුවයි...

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

වියෝවූ පසුවයි... //

ප‍ටු අදහස්

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

ප‍ටු අදහස් නම්...

වන්නි වනපෙතේ

වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් //

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්

වන්නි වනපෙතේ...

කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්

වන්නි වනපෙතේ... //

හිසේ ගිනි ඇවිලෙතේ

හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ
පිසින්නේ කවුරුදෝ //

කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඬුම් ගංගා ගලා
ඒ ඉවුරේ මෙසේ
ඒ ඉවුරේ මෙසේ
ලොවේ අය දිව යතේ

හිසේ ගිනි ඇවිලෙතේ...

යුගෙන් යුගේ අත් වැල් බැඳී
යදම් වැලක් විලසින් ඇදී
නෑ නිවුණේ සදා
නෑ නිවුණේ සදා
මිනිස් කම මෙදියතේ

හිසේ ගිනි ඇවිලෙතේ... //

පිලේ පහන

පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ //

පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
දොලේ හඞට උණ පඳුරේ වැනියං මට බලා ඉන්ඩ
කාගෙත් දුකට හූමිටි ලන උලලේනෝ පලා යන්න
මගේ තනිඅ ලඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්ඩ

පිලේ පහන...

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරිමාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුසුඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඞයි කඳුළු හලා ගංගාවක

පිලේ පහන... //

නෙතු පියාගන්න

නෙතු පියාගන්න ඉඩදී
ඔබ මැකීයන්න රාත්‍රී //
පිනි බිඳු වැටුණා
ගහකොළ සැලුණා
සෙනෙහසින් වියෝවී
නෙතු පියාගන්න ඉඩදී
ඔබ මැකීයන්න රාත්‍රී

සේද මාවතේ සතුටු සාගරේ ජීවිතේ ගෙවාලූ
සිහින දේශයේ සොඳුරු මල් වියේ පාරමී පුරාලූ
තව පෙම්වතුන් හඞාවී බැඳි ආදරෙන් වියෝවී
උන් නිවාලන්න රාත්‍රී

නෙතු පියාගන්න ඉඩදී
ඔබ මැකීයන්න රාත්‍රී

සැලෙන මාරුතේ පිපුණු මල් ලතා සිනහ කැන් සලාවී
දිනෙක මේ රැයේ බිඳුණු ප්‍රේමයේ සුවඳකින් ගෙනේවී
ලොව ආදරෙන්ම පුරවා උණුසුම් පැතුම්ම පුබුදා
හිරු හා රැඳෙන්න රාත්‍රී

නෙතු පියාගන්න...

නෙතු කඳුළු

නෙතු කඳුළු කඳුළු කඳුළු
කොයි කාගෙ වුනත් කඳුළු
පිසලන්න එන්න මිතුරු
පාගන්න එපා කඳුළු //

දූ පුතුන් නමින් හැමකල්
මව් පියන් හෙළූ කඳුලැල්
හිත රිදී ගලා හැළුණු
දරු සෙනේහයයි කඳුලැල් //

නෙතු කඳුළු...

යුද බිමක නැගෙන ගිනිදැල්
කොයි කඳවුරටත් කඳුලැල්
විඳ දරා ගන්න බැරිමුත්
දුක තමයි ඇසේ කඳුලැල් //

නෙතු කඳුළු...

මේ කඳුළු බිංදුව

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි
එය ඔබේමයි එය ඔබේමයි //

ඇඳ වියන ලඟ අඩ සඳින් දිදුලන
මළ තාරකාවක සිහිල කැටිවුන //
මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

හඞන්නට කිසිදා නොදැන සිටි මට
මළ පොත කියාදී නොකියාම ගිය //
මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

මේ කඳුළු බිංදුව... //

මල්ලියෙ නරක මිතුරන්

මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා..
නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා..
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා..
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා..

දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා..
කල පව් මතක්‌ වී දෑසම තෙත් වෙනවා..
සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා..
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..

ලැබුවේ අවවාද නොහොබින ආරකය..
දුදනන් නිසා විය හෙනහුරු මාරකය..
මං පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය පෝරකය..

මලට සුවඳ සේ

මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමූ අපි නැවුම් ආදරේ //
හද සිනා දේ නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවී

බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
දෙරණ වැලඳ සයුර පවස ගිම් නිවාවී //
ඔබ සොයා ඒමා සොයා ඒ
සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී

මලට සුවඳ සේ...

නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී //
සඳ ලතාවේ හිරු සිනාවේ
නොහිම් නිහඞ අරුත ආදරේ කියාවී

මලට සුවඳ සේ...

රන් මලක් ලෙස

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ

ලෙහි හොවා වැඩු සිය පුතුන් ඇත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්

රන් මලක් ලෙස...

මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුදබිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ ///

රජෙකු වුනත්

රජෙකු වුනත් ගිලන් වෙලා //
එක්තැන් වුණ දා
කියනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා //

ඉසුරු සමඟ හාද වෙලා //
නොසතුට ආදා
දැනෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා //

බැරිවුණදා නෑදෑයන් //
අතහැර ගියදා
හිතෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා //

ලක් වැසියන්

ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් මම පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ
ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදුදේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

කපා බිම හෙලා

Sunil Edirisinghe - Kapa Bima Hela .mp3
Found at bee mp3 search engine

කපා බිම හෙලා ගහකොළ තනා මහ විමන් මිහිමත
පුරෙන් පුර දනන් දෙව්පුර අසිරි මවනවා
ඒ මැවුම් දකින දෙවියෝ බියෙන් සැලෙනවා //
(උන්හිටි තැන් නැතිවෙලාද, උන් කල පින් පිරිහිලාද
රුක් දෙවියෝ දණින් වැටී නරන් යදිනවා //)


විඳා අළ නැණින් පිරිසිඳ වසා සිටි නුවන් විනිවිද
මිනිස් වග මහා විශ්වය හඹා දුවනවා
දෙව්ලොවින් බසින දෙවියෝ සුසුම් හෙලනවා //
(ඇස් අදහා ගන්ට බැරිව, පින් පව් විසඳන්ට බැරිව
ඉරිසියාව යට කරගෙන සාදු කියනවා //)

දිනූවෙද මහා සක්වල ලැබූවෙද මහා සිප්නැණ
දේව අනුහසින් වේදැයි බියක් හිතෙනවා
දණින් හිඳ සුරන් පා යුග නරන් වඳිනවා //
(මිනිස් මහිම අඩුවෙලාද, මිනිස් කමට හිනැහුණාද
උනුන් මුව බලා දෙවියෝ අනේ කියනවා //)

කැලෑ මල්

කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා ‍රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඞා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

සලෙල දනන් කුල්මත් කල ඔමරි ලතාවයි
මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවැනි කැලෑ මලෙක කතාවයි

කැලෑ මල්...

ලඳුනි නුඹෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසඳුන් මියුරු වදන් නොමැත අමා වන්
මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
මල්නෙලඳුන් අතරතුරේ වාසනාවන්

කැලෑ මල්...

කඳුළු දෙන්න

කඳුළු දෙන්න මට හඞන්න සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න //

හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න...

ලිහිණියනේ පියාඹන්න ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න... //

ඉස්සර මං ගිය

ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඞ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා

ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒදඞු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එකතැන රැඳුණා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැඟුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා

හඞන පණ නල

හඞන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමිවුණේ
හඞන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ

යොවුන් සිතිවිලි විපිලිසර වී
මහළු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත හඞන සුරගුරු
යදී සිඟමන් මාවතේ

හඞන පණ නල...

රකුසු පියසක පිපුණු කුසුමට
මලවි හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මං පෙත
සරන පා යුග පටලැවේ

හඞන පණ නල...

හද පාරනා

හද පාරනා රුදු වේදනාවන් කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම් මා සිනා දෑසින් //

තනිව නැගෙද්දී පෙරට ඇදෙද්දී මාවත අවුරණ ලොවක මෙසේ //
තනිවූ දෙපයින් ජීවිතයේ බාධක දිනන්නෙමි

හද පාරනා...

පහර වදිද්දී සැවොම රිදුම් දී ඒ සිත හඞවන ලොවක මෙසේ //
තනිවූ දෑසින් යායුතු වූ මාවත දකින්නෙමි

හද පාරනා... //

ගඟට කපන

ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැතිවෙයි දිය හිඳුනාම
දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙක් ආ විට එලවන්න එපා
අනුවණකමින් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා ///

ගගන සරනා

ගගන සරනා සියොතුනේ
සොයා තුරු සෙවණක්
බලන් මිනිසුන් වැලපෙනා...
බලන් මිනිසුන් වැලපෙනා බිම
පතා දිය කඳුලක්

ගගන සරනා මිනිසුනේ
පතා සුව දසුනක්
බලන් සියොතුන් වැලපෙනා බිම
සොයා තුරු සෙවනක්

ගතින් සියොලඟ වසා සිහිලස දී
නිවා කුසගිනි නැවුම් රස පල දී
මවු ගුණෙන් දරු සෙනෙහසින් පේවී
මිනිසුනේ ඒ වන අරණ ඔබ නමින් දිවි පිදුවේ

නැගෙයි කුසගිනි පුරන් වූ කුඹුරින්
ගලයි ලෝදිය බිඳුණු වැව් බැම්මෙන්
හඞන්නටවත් තෙතක් නැති දෑසින්
මිනිසුනේ මේ බලන් මිහිතල හැරගියා දෙවියන්

ගගන සරනා...

දුකම විඳින්නට

දුකම විඳින්නට දුක උහුලන්නට
දුකින් උපන් දරුවෝ
දුකට වරම් ලද මිහි මවගේ දරුවෝ
(මිහි තලයේ දෙවියෝ) //

උණු දිය කහටින් දෙතොල තෙමා
රළු කළු ගල් වැලි සිරස දරා
සෙවණක් නැතිවද රටට සෙවණ දී
පලංචියේ වඩිනා
(මිහිතලයේ දෙවියෝ)

දුකම විඳින්නට...

හුණු වැලි ගින්නේ පැළුණු දෙපා
මලින් ගඳින් පුදදී බැති පා
පින් ලැබ ගන්නට සැදෙව් පෙලින් පෙල
අප රකිනා දෙවියෝ
(හිණිපාමුල වැඩියෝ)

දුකම විඳින්නට...

දෙවොලේ නොකැලැල්

දෙවොලේ නොකැලැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල් //

මලෙකින් මලකට ඇදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල්
එක මලකින් පමණක් රොන් ගන්නම්
අන් මල් මත නොතබා උණු කඳුලැල්

දෙවොලේ නොකැලැල්...

පවසට පල නැත සයුරේ රළවැල්
දිය දෝතක් ගමි දොලකින් සිහිලැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්

දෙවොලේ නොකැලැල්... //

දැදුරු සිතක

දැදුරු සිතක දෙසඳුන් ගල්වන්නට ආ විහඟී
කඳුළු නැතත් ඇයගෙන් ගිනිගත් මේ සිත විරහී //

රත් පැහැ ගැන්වුණු සඳුගේ එළියත් හරි උණුසුම් //
නිර්මල සිතකින් ඔබ පුදනා පෙම මට නොතරම්
මට නොතරම්

දැදුරු සිතක...

දෙවැනිය වී ඔබ ගෙනෙන පහන් දල්වනු කෙලෙසින් //
දෙවැනි වරට දල්වන්නට සිළුවක් නැතිය ඉතින්
නැතිය ඉතින්

දැදුරු සිතක...

දෑවැදි දෙන්නට

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ //

විරසක වීලා විරහ අපලයෙන්
නුඹෙ ඉරණම නුඹ ලඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි
ලිප මුල්ලේ යෞවනය ගෙවේ

දෑවැදි දෙන්නට...

රන්දම් පැලඳිය යුතු ගෙල වටකර
නවගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී
තනිකඩකම කොච්චරද අගේ

දෑවැදි දෙන්නට...

දසිස් දිනා

දසිස් දිනා රුපු රජුන් නසා
ලොව තෙදින් තමා නතු කලෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැලක් විනා //

අදින් මතුව යලි සටන් වදින්නට
රජෙක් නොමැති සිහ අසුන් අරා
සුසුම් නලින් මිස සිතින් බෑර නොව
හිඳිම් මගේ දුක කිරුල දරා

දසිස් දිනා...

දිනූ විසල් ලොව සිතින් හරින්නෙමි
උතුම් මිනිස්කම මවෙත රඳා
මගේ දෙපා මුල වැටී මෙසේ මම
කියම් මගේ දුක මටම හඞා

දසිස් දිනා...

දර මිටි බැඳගෙන

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

දෝතින් බොන්නට දියට නැවී
කෙකටිය ගාලෙන් ඉගිලෙනවා
හඳ පානට උඹ නිකිණි මහේ
වැව් ඉස්මත්තේ හැංගෙනවා

දර මිටි බැඳගෙන...

අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන් දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා

දර මිටි බැඳගෙන...

දළදා හාමුදුරුවනේ

දළදා හාමුදුරුවනේ ඇසල පෝය දවසේ
අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි
නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

දළදා හාමුදුරුවනේ...

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි
ඇල් සුලඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

දළදා හාමුදුරුවනේ...

බානෙන් බැඳ

බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ //
උන්ගෙම හම බෙර හඳට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

බානෙන් බැඳ...

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ //
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ ///

ඈත සිටන්

ඈත සිටන් එන්නී සෙල්ලි සෙල්ලියේ
දෑස පුරා කඳුලැලි මුත් නොසෙල්වියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ //

බාල ළමා කැල යවලා ඉස්කෝලේ
ආල හිමිට දාසවැ උවටැන් ඈගේ
විසාඛා නොවී දුවනා සඳ පාරේ
කාට පෙනෙයි නුඹ දුක් උහුලන තාලේ

ඈත සිටන් එන්නී...

පාට සොඳුරු අරුමෝසම් නොදන්නියේ
බාල රන්ද පඞු පොවලා අඳින්නියේ
වීත රකුසු නෙත් සොඞ මඟ හරින්නියේ
රෑට පහන සේ යළි ගෙට වඩින්නියේ

ඈත සිටන් එන්නී...

අරුණ උදාවේදෝ

අරුණ උදාවේදෝ
අඳුර නිමාවේදෝ
මිහිමඞල පුරා ගණ තිමිර ඉරා
නැණ අරුණ පහන් වේදෝ
අවා දෙරණේ //

මනුසත් උයනේ මුදු සිත් පරවී
හසරැල් ගිලිහී යයි
මිහිමව් තුරුලේ නොමිනිස් කතරේ
ගිනිදැල් මතුවී එයි
එද ගිනි නිවනා දිය දහරා
කවදාදෝ හමුවන්නේ
දයා මහිමේ

අරුණ උදාවේදෝ...

කඳුලින් තැවෙනා දෙනුවන් හමුවේ
ලොව නෙත් අඳවේ නම්
ලසොවින් දැවෙනා සුදනන් හමුවේ
දුදනන් සැනහේ නම්
මිනිසුන් නොවෙනා දෙරණකදෝ
අවසානය එළඹෙන්නේ
නිරා ගමනේ

අරුණ උදාවේදෝ...

අන්දර වැටෙන්

අන්දර වැටෙන් එබෙන සුන්දරී
සුන්දර සුපිපි කුසුම් මංජරී
මංපෙත සුවඳ කරන රම්බරී
රන්රසු නගන නාරි කුංජරී //

ඔබගේ ගමන් ලතාවෙන්
නළලත කියඹු ලතාවෙන්
දෙව්ලිය සදිසි කතාවෙන්
ජීවිතයම හරි සොඳුරුයි... සුන්දරී

අන්දර වැටෙන්...

මොහොතක රැඳෙන පමාවෙන්
සවනත සදන අමාවෙන්
දෙඅදර මවන සිනාවෙන්
ජීවිතයම හරි සොඳුරුයි... සුන්දරී

අන්දර වැටෙන්...

අන්ධ අඳුර



නොනිත් පැතුම් නිම්හිම් සොයනා
මන්දාරම සේ අහස් තලේ
මායා අඳුරින් දසත වසා පැතිරේ
ඉර හඳ මොහොතක් සුසුම් නඟයි
මායා පටලය සිඳෙන තුරා

අන්ධ අඳුර මැද කාලය පියඹයි
ඉර හඳ අඳුරේ සුසුම් නඟයි
මන්මත් සිතිවිලි විදුලිය රේඛා
මේඝ ඝර්ජනා නඟා දිවෙයි.

නොනිත් පැතුම්...

නිමේෂයක ඒ අඳුර සුසුම් ලයි
ඉර හඳ යලි ලොව අරා නැඟෙයි
සිතැඟි කළඹවා හද රැඳි ආශා
නිසරු සිහින බිඳ දෙනෙත් අරියි

නොනිත් පැතුම්...

අම්මෙ පෙම්බරා

අම්මෙ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
ජෝර්ජ් මහරජා ගුණ කඳ කරමු සිහි සොඳා
මාස්ටර්ගෙ ගායනාව හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව අනුව වැයේ බටනලාව

සරිගමපධනී
හරි හරි සනිධපමගරී
ආ..ආ..ආ..

නළල් වටින් එන දහදිය පිසදාගෙන විරාමයක
වීණාවක නාද නැගේ දිගාසිරි යදා රජු හට
සායට මනරම් අත් දිග හැට්ටය තොල් අග හිනාව
මතු කොට ටොප් හැට් ඇඳගෙන ඒරොප්පේ කල්පනාව
මාස්ටර්ගෙ ගායනාව හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව අනුව වැයේ බටනලාව

සරිගමපධනී...

රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
බලා හිඳී ගම්භිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස
හීන දීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කල
යලි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික
මාස්ටර්ගෙ ගායනාව හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව අනුව වැයේ බටනලාව

සරිගමපධනී... ///

අහසින් පොළොවට

අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ

මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට
අනාථ නිවසයි පට බැඳුණේ

අහසින් පොළොවට...

ගෙනත් දෙතිය රස මසවුළු මව්වරු
දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුඹෙ මව් ලමැදේ කිරි එරුණේ

අහසින් පොළොවට...

සිල්ප සොඳින්

සිල්ප සොඳින් දැන ගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ

සිල්ප සොඳින්...

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇල ඉස්මත්තේ
නාමල් සුවඳට බමරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

සිල්ප සොඳින්...

මලක් වෙලා

මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න //

ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න //
නැවුම් සඳක් වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න

මලක් වෙලා...

මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ රැඳී ඉන්න //
පවන් රොදක් සේ මා ලඟ වෙලී
ජීවිතේ දුක නිවා ලන්න

මලක් වෙලා...

පුර පෝය හඳට

පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන්
ගී හඞින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ, ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් //

මුතු මාල පොටක් ගෙලේ බඳින දා
හිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනිද මන්දා

පුර පෝය හඳට...

රන් තොරණ බැඳී මග සරසන දා
හද රබන් සුරල් හඞින් වැයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැඳුනිද මන්දා

පුර පෝය හඳට... //

සොර දෙටුවෙක් (අනේ මෙහෙම තණ්හාවක්)

සොර දෙටුවෙක් කස තැලුම් කකා
දං ගෙඩියට ගෙන යන ගමනේ
වදක බෙරේ දැක සොරා ගන්ට එය
කදිමයි ලොබ සිතුවාලූ //

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්
දෙන්නට වේ යැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී
පැණි කොමු පිස කෑවේලූ //

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

සුරා සොඞෙක් ගිරි කුලකින් විසිවී
මහ පොළොවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත පවන් ‍රැලි
අහෝ සැපයි කීවාලූ //

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

කලේ පැන් ඇත

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහ කොල සුලඟ ඇත එද
සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඞ නැත
සවන් බිහිරිව ගියාදෝ

කලේ පැන් ඇත...

පුරුදු නිවහන නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින් ///

මිනිසෙකු පිට නැගි

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී //

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා

මිනිසෙකු පිට නැගි...

ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා

මිනිසෙකු පිට නැගි...

පලංචියේ

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද
හොඳ හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද

පලංචියේ....

දොඩමළු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ

පලංචියේ....

පිනිබර යාමේ

පිනිබර යාමේ සැවුලන් අඬලනවා
අම්මා වටකර ලිප ගිනි නැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල අඬවාවී //
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදා
දුක්වේවී අම්මා..

පිනිබර යාමේ....

වේල දෙවේලේ කුසගිනි නොබලා
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා //
කලට රුවන් වැසි වස්සන තාලේ
සිල්ප උගත් දා නුඹ සක්විති වෙනවා

පිනිබර යාමේ....

පාට දේදුනු

පාට දේදුනු සේදිලා ඈත කඳු යායේ
සීත ‍රෑ සඳ පීදිලා නීල තරු යායේ

ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැඟේ
මීදුම් වලා ලෙසින් පාවී ඈතින් හැපී බිඳේ

පාට දේදුනු...

මා නුවන් දියේ පීනා නැගෙන් සඳේ
පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සඳේ

පාට දේදුනු...

චන්ද්‍ර මඩල


චන්ද්‍ර මඩල බැද්ද වටින් මෝදු වෙලා
කලු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා

පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ //

චන්ද්‍ර මඩල....

දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ පාළු දැනෙයි නගේ //