ඔහු ගැන...

පැටිකිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ (දෙසැම්බර් 19, 1949 ඉපැදි) ශ්‍රී ලාංකීය සංගීතයේ අග්‍රගණ්‍ය ගායකයෙකි.

පැටිකිරිගේ එදිරිසිංහ සහ උස්හෙට්ටිගේ එලිසබෙත් පෙරේරාගේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස ඉපිද කැළණිය වරාගොඩ පෙදෙසේ වෙසෙන සුනිලුන්ගේ පාසල් සමය 1955 දී ශ්‍රී ධර්මපාල විද්‍යාලයෙන් ඇරඹෙන අතර 1968 දී සපුගස්කන්ද මහා විද්‍යාලයට සහ දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙණට උසස් අධ්‍යාපනය සඳහා ගියේය.

1969 දී උසස් අධ්‍යාපනයේ නිමාව දකින ඔහු රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු වලට යොමු වූයේය. එදිරිසිංහයන් ගායනයට මුල්ගල් තබනුයේ වැඩිමල් සහෝදර සතිස්චන්ද්‍රයන් අධ්‍යක්ෂණය කරන මාතර ආච්චි චිත්‍රපටයේ 'සඳකඩ පහණ' ගීතය ගායනයෙනි.විශාරද පී. වී. නන්දසිරි සංගීත ශාස්ත්‍රාලයෙන් හා 70 දශකයේ ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් සංගීතය ප්‍රගුණ කල ඔහු 1975 දී ඉන්දියාවේ භාත්ඛන්ඩේ සංගීත විශ්වවිද්‍යාලයෙන් පළමු පෙල ගෞරව උපාධියක් ලැබුවේය. ඉනික්බිතිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට බැඳෙන ඔහු 1980 දී ප්‍රථම කැසට් පටය 'චන්ද්‍ර මඩල' එලි දැක්වූයේය.

1979 නන්දනී කුමුදු මුණසිංහ සමඟ විවාහ වූ එදිරිසිංහයන් සංඛ හා සංඛානි එදිරිසිංහගේ දයාබර  පියාණන් වෙයි.

1983 දී අධිෂ්ඨානය චිත්‍රපටයට ගායනා කල 'අන්ධ අඳුර' ගීතය ජනපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර 'මංගල තෑග්ග' චිත්‍රපටයේ 'තුරුලක හුරතල්' හා 'සහරාවේ සිහිනය' චිත්‍රපටයේ 'වලාකුලක් ගෙන' ගීත වෙනුවෙන් 'ස්වර්ණ සංඛ' සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. 1985 දී ඇරඹි 'සඳකඩ පහණ' ප්‍රසංගය සමඟ ඔහු රට පුරා මෙන්ම ලෝකයේද සිංහල සංගීතයේ වරුණ රැගෙන යයි.

- විකිපීඩියා ඇසුරෙන්